කොහේ ද? කීයට ද? කොපමණ වෙලාවක් ද?

//කොහේ ද? කීයට ද? කොපමණ වෙලාවක් ද?

කොහේ ද? කීයට ද? කොපමණ වෙලාවක් ද?

භාවනා කරන්න සුදුසු ම තැන මොකක්ද?

භාවනාව ආරම්භ කරන ආධුනිකයෙක් නිරන්තරයෙන් ම තමන් ගේ භාවනා කරන ස්ථානය සහ මුහුණ යොමු කළ යුතු දිශාව පිළිබඳ ව සැළකිලිමත් වෙනවා. කොහොම වුණත් තමන්ගේ නිවසේ නම් භාවනා කරන්නට නිශ්චිත තැනක් තිබීම බොහොම හොඳයි. ඒක බොහොම පිරිසිදු ගෞරවනීය තැනක් විදියට තියාගන්න. ඒ ස්ථානයේ ලෑලි වලින් කල ආසනයක් මත සුවපහසු කුෂන් මෙට්ටයක් තැන්පත් කොට පිළිවෙලට සකසා ගන්න. ඒ ආසනය මත හිඳගෙන රූපවාහිනිය නැරඹීම පොත් කියවීම වැනි වෙනත් කටයුතු වල නිරත වෙන්න එපා. එය සම්පුර්ණයෙන් ම භාවනාවට පමණක් ම යොදාගන්න ඕන. ඔබ කැමතිනම් කුෂන් මෙට්ටයකින් තොර ව සම්පුර්ණයෙන් ම සමතල බිමක හිඳගන්නත් පුලුවන්. නමුත් වඩාත් හොඳයි කකුල් නවා ගැනීමෙන් පසු අගල් පහක පමණ උසකින් යුතු කුෂන් කොට්ටයක් මත හිඳගෙන කය සෘජු කරගැනීමට පුලුවන් නම්. එවිට ඔබට බොහෝ වේලා භාවනා කළ හැකියි.

ඇතැම් අයට කුෂන් කොට්ටයක් මත හිඳගැනීම අපහසුයි. එවන් අය ඇඳි සහිත හෝ ඇඳි රහිත පුටුවක් භාවනාව සඳහා භාවිතා කළ යුතුයි. මෙම භාවනා ආසනය මුලින් කී පරිදි එක ම ස්ථානයක තියාගන්න. එය භාවනාවට පමණක් භාවිතා කරන්න. මේ ආසනයේ හිඳගත් පසු කොණ්ද හේත්තු කරගැනීම අවශ්‍ය නොවේ නම් හැකි තාක් කොන්ද ප‍්‍රදේශය නිදහසේ තබාගන්න උත්සාහ කරන්න. ඔබේ කොණ්දේ ආබාධයක් පවතී නම් පමණක් කොන්ද හේත්තු කරගන්න පුලුවන්. ඉන් පසු කකුල් පටලවා ගන්නේ නැති ව සීරුවෙන් සිටගෙන සිටිද්දී යටිපතුල් පවතින්නේ යම් සේ ද ඒ ආකාරයෙන් ම එකිනෙකට මදක් දුරෙන් යටිපතුල් තැන්පත් කරගෙන නිශ්චල කරගන්න. දැන් ඔබේ දකුණු අල්ල දකුණු දණහිස මතත් වම් අල්ල වම් දණහිස මතත් සැහැල්ලුවෙන් තැන්පත් කරගන්න. ඉන්පසු අත පය උරහිස් තද කරගන්නේ නැති ව සැහැල්ලු කරගෙන භාවනාව ආරම්භ කරන්න. භාවනා කිරීමේ දී හිස යොමු කළ යුතු නිශ්චිත දිශාවක් නැහැ. යම් දිශාවක් ඔබට පහසු ද ඒ දිශාව තමයි සුදුසු ම දිශාව.

භාවනා කරන්න සුදුසු ම වේලාව මොකද්ද?

නිවසේ දී භාවනා කරන්නේ නම්, උදෑසන කාලය භාවනාවට බොහොම උචිතයි. ඔබ උදෑසන ව්‍යායාම් සිදු කරන්නේ නම් ව්‍යායාම් සිදු කොට ජලය නා පිරිසිදු වී සරළ ආහාරයක් භුක්ති විඳ ඉන් පසුව එළැඹෙන පළමු විනාඩි 30 භාවනාව සඳහා ඉතා ම උචිතයි. ව්‍යායාම නොකරන්නේ නම් අලුයම අවදි වී සම්පුර්ණයෙන් ම නිදිමත නැති වන පරිද්දෙන් මුහුණ දොවා පිරිසිදු වී, මද වේලාවක් බෞද්ධ සජ්ඣායනාවක නිරත වෙන්න. විනාඩි 5ක් හොඳට ම ඇති. ඉන් පසු. ඔබගේ භාවනා ආසනය මත හිඳගෙන සැහැල්ලුවෙන් දෑස් පියාගෙන භාවනා කරන්න. සන්ධ්‍යාවේ නම් ගොඩක් වෙහෙසකර නිසා ස්නානය කොට පවිත‍්‍ර වී මදක් විවේක ගෙන ස්ථිර වෙලාවක් වෙන් කරගන්න රාත‍්‍රී පුහුණුව සඳහා. රාත‍්‍රී 8 නම් හැමදා ම රාත‍්‍රී 8 වන විට ඔබ ඔබේ භාවනා ආසනය මත සිටිය යුතුයි. උදෑසනත් රාත‍්‍රියේත් නිශ්චිත වෙලාවක් වෙන් කරගැනීම පුහුණුව වෙත ඔබ සම්බන්ධ කරවීමට හේතු වෙන බව මතක තබාගන්න. නොවැරදීම අනුභව කළ යුතු බෙහෙත් පෙත්තක් වගේ මෙම වේලාවට භාවනා කරන්න කීයටවත් අමතක කරන්න එපා.

කොපමණ වෙලාවක් භාවනා කළ යුතු ද?

කොපමණ වේලාවක් භාවනා කළ යුතු ද යන්න ඉතා හොඳ ප‍්‍රශ්නයක් තමයි. නමුත්, ඒ ගැන ඔබ වද වෙන්න ඕන නෑ. හැම පැයකට පැය දෙකකට වරක් ම විනාඩි දෙකක් භාවනා කරන්න පුරුදු වෙන්න. කුමන හෝ ඉරියව්වක සිට මෙය කළ හැකියි. විවේකයක් සහිත ව භාවනා කරන්නේ නම් විනාඩි 30කින් අරඹන්න. දවසට වරක් නිශ්චිත වේලාවකට විනාඩි 30ක් භාවනා කොට එය අඛණ්ඩ ව දින 30ක් පවත් වන්න උත්සාහ කරන්න. විශේෂයෙන් ම භාවනා පුහුණුවේ දී අඛණ්ඩ පුහුණුව ඉතා ම වැදගත් වෙනවා. මසකට වරක් භාවනා කරන කෙනෙකුට ලැබෙන ප‍්‍රථිපලය ඉතා ම අල්ප වන අතර ම අඛණ්ඩ ව භාවනාව පවත්වගෙන යන කෙනෙකුට ලැබෙන ප‍්‍රථිඵල බොහොම විශාලයි. ඔබ විසින් භාවනා කරන කාලය තුළ හැකි තාක් උත්සාහ කළ යුත්තේ විනාඩි 30ක් ආසනයේ ඉඳගෙන සිටීමට නොවෙයි. එම කාලය තුළ හැකි තාක් භාවනා අරමුණේ සිත රඳවා ගැනීම පිණිස යි. එය එතරම් ලේසි වන්නේ නෑ. බඩගිනි ගවයෙකු තණ කොල වැවුණු පිට්ටනියක් මැදින් අරගෙන යනවා වගේ වැඩක්. කොයි වෙලෙත් තණ කොල කන්නමයි හිත. අන්න ඒ වගේ අපේ හිතත් එක අරමුණක තියාගන්න උත්සාහ කරද්දී නිතර ම අපිට අවශ්‍ය නැති දේවල් පසුපස දිව යනවා. මේ දේ වළක්වගන්න කරන්න තියෙන්නේ නැවත නැවත සිත භාවනා අරමුණට ම රඳවගන්න අවශ්‍ය උපක‍්‍රම යෙදීම යි. ඒ නිසා භාවනා කරන කාලය තුළ සිහියෙන් යුතු ව අරමුණේ ම සිටි කාලය තමයි වැඩි කරගන්න බලන්න ඕන. සුලුවෙන් ආරම්භ කරන්න. එවිට යම් දවසක ඔබට පැයක් දෙකක් වුණත් කිසි ම ගැටළුවක් නැති ව භාවනා කරගන්න පුළුවන් වේවි.

Image: All rights belong to respective owner(s). Contact admin if you want to remove any of your images.

By | 2017-07-29T19:45:25+00:00 July 29th, 2017|Meditation|0 Comments

About the Author:

Leave A Comment