භාවනාව ආරම්භ කරන්නේ කෙසේ ද?

//භාවනාව ආරම්භ කරන්නේ කෙසේ ද?

භාවනාව ආරම්භ කරන්නේ කෙසේ ද?

භාවනාව ආරම්භ කරන්නට පෙර ඔබ හොදට හිතට ගතයුතු දෙයක් තියෙනවා. ඒ තමයි, භාවනා පුහුණුව ඉතා ම සැහැල්ලුවෙන් සුළුවෙන් සරළ ව ආරම්භ කිරීමයි. කිසිසේත් ම ඔබ බරපතලකමක් ආරූඩ කරගෙන මම දැන් භාවනා කරන කෙනෙක් කියා සිතමින් සමාජය තුළ විශේෂයෙන් හැසිරෙන්න උත්සාහ කරන්න එපා. පිපාසයට පැන් බොන කෙනෙක් වගේ ඉතා ම සැහැල්ලුවෙන් ජීවත් වෙන අතරේ භාවනාව ආරම්භ කරන්න ඕන.

පටන් ගන්න

බරපතල විදියට මොකුත් ම හිතන්න යන්න එපා. භාවනාව ආරම්භ කරන්න කලින් ඔබ ට කිසි ම පෙර සූදානමක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ භාවනා කරන විනාඩිය වුනත් කිසි ම බාහිර බාධාවකින් තොර ව සිදු කරගැනීමට අවශ්‍ය පරිසරයක සිටීම පමණයි.

1. විවේකය තිබේ නම්;

මේ සදහා හොදට ඉදගන්න පුලුවන් තැනක් හොයාගන්න. බිම ම ඉදගැනීම අත්‍යාවශ්‍ය නැහැ. ඔබ සිටින්නේ කාර්යාලයේ නම්, ඔබේ ආසනය මත සමබර ව පැද්දෙන්නෙ නැති වෙන්න ඉදගත්ත නම් ඇති. දැන් හිස කෙළින් කරගෙන දෑස් පියාගන්න. හිස මුදුනේ සිට යටිපතුල දක්වා ම හෙමිහිට සිහිකරගන්න. ‘හිස මුදුන, නළල, නාසය, නිකට, බෙල්ල. උරහිස්, පපුව, අත් දෙක, බඩ, අත් වල ඇඟිලි, ඉණ ප‍්‍රදේශය, කළවා, දණහිස් දෙක, යටිපතුල’ සිත මුලූ ඇඟ දිගේ ම අරගෙන යන්න. ඊ ළඟට හිතන්න ඔබ ඉන්න ඉරියව්ව ගැන. ‘මම ඉදගෙන සිටිමි… මම ඉදගෙන සිටිමි’ කියල හිතන්න. හිතෙන් ඉදගෙන ඉන්න චිත‍්‍රය මවාගන්න. නැවත වරක් හිසේ සිට දෙපතුල දක්වා සිහි කරන්න. ඉන්පසු නැවතත් සිතන්න ‘මම ඉදගෙන සිටිමි… මම ඉදගෙන සිටිමි’ කියල දැනටමත් ඔබ විනාඩි පහකට ආසන්නව භාවනා කරල. දැන් ඇස් දෙක ඇරලා සාමාන්‍ය වැඩ කටයුතු ටික පටන් ගන්න.

2. අවිවේකී නම්;

ඔබ යම් කටයුත්තක් නිසා අවිවේකීව සිටිනවා නම්, මේ මොහොතේ භාවනා කළ නොහැකි බව ඔබ සිතන්න පුලුවන්. නමුත් සිහියේ තබාගන්න. අවිවේකී අවස්ථාවක භාවනාවක නිරත වීම ඉතා ම ඵලදායි දෙයක්. ඒ මගින් ඔබේ කටයුත්තත් හොදින් කරගත හැකි වෙනවා. ඉතින් කොහොමද කාර්ය බහුල අවස්ථාවක භාවනාවක නිරත වෙන්නේ..? මුලින් ම ඔබ, කාර්ය බහුල වීම පිළිබද ව තිබෙන අසතුට සිතෙන් ඉවත් කරගන්න. ඔබේ රාජකාරියට ආදරය කරන්න. කළ යුතු කාර්යයන් සතුටෙන් කරන්න. දැන් සිත තුළ පීඩාව දුක ඇති වෙන සිතිවිලි ඇති වීමට නො දී සිනහ මුසු මුහුණෙන් සතුටෙන් යුතු ව වර්තමානයට සිහිය එකඟ කරගන්න. මේ මොහොතේ කල යුතු දේ ගැන හිතන්න. තව සම්පුර්ණ කිරීමට තිබෙන වැඩ ගොඩ ගැන පොඞ්ඩක් වත් හිතන්න එපා. ඔබේ මේසය, වැඩපල, පරිඝනකය, ඉතා ම පිරිසිදුවට පිළිවෙලට තබා ගන්න. සෑම වැඩමුරයක් අවසානයේ දී ම සියල්ල පිළිවෙලට සකසා දිනය අවසන් කරන්න ඕන. ඉන්පසු සිහි කරගන්න හෙට දෙවසේ කළ යුතු කොටස්. ඒ සියල්ල හොදින් මම සිදු කරමි කියල හිතාගෙන සැහැල්ලුවෙන් නිවසට යන්න. නිවසේ දී ඔබ රාජකාරි නොකරන්නේ නම්, කාර්යාලයේ දී සිදු කිරීමට ගොඩ ගැසී ඇති වැඩ කිසිවක් නිවසේ දි සිහිපත් කරගන්න එපා. ඒ සියල්ල කාර්යාලයේ ම දමා එන්න. කිසි ම විදියකින් කාර්ය බහුල නොවන කෙනෙක් වගේ නිවසට ඇවිත් සැහැල්ලුවෙන් ඉන්න. අත්‍යාවශ්‍ය ම වැඩක් තිබේ නම් පමණක් නිවසේ දී සිදු කළ හැකියි. නමුත් ඔබේ කාර්ය බහුලත්වය නිවසේ සතුටට හානියක් වෙන්න ඉඩ තියන්න එපා. එදිනෙදා කටයුතු දුකකින් තොර ව තරහකින් තොර ව, පිළිවෙලට සතුටින් කරගන්න පුලුවන් වීමත් භාවනාවක් බව ඔබ මතක තියාගන්න ඕන.

බලාපොරොත්තු තියාගන්න එපා..

මල් ගසක් වුණත්, පළතුරු ගසක් වුණත් ඵල දරන කම් අපිට ඉවසීමෙන් බලා සිටින්න සිද්ධ වෙනවා. දරුවෙකු ලැබෙද්දි වුණත්, මවු කුසේ අවශ්‍ය මාස ගණන සම්පූර්ණ වෙනකම් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරද්දි වුණත්, දවසෙන් දෙකෙන් ප‍්‍රථිපල ලබාගන්න අපේක්ෂා කරන්න එපා. මොකද ජීවිත කාලයක් ම පිරිසිදු නොකළ සිතක් දවසෙන් දෙකෙන් සකසා ගන්න අමාරුයි. ඇතැම් විට සති කිහිපයක්, ඇතැම් විට මාස කිහිපයක් වුණත් ඒ සදහා ගත වේවි. අත්‍යාවශ්‍ය වන්නේ බුද්ධිමත් ව ඉවසීමෙන් යුතුව දිනපතා පුහුණුව කරගෙන යාමයි. එවිට අවශ්‍ය ප‍්‍රථිපලය දිනෙක ඔබ සමීපයේ තිබේවි. ඇතැම් විට ඔබ සිදුකරන භාවනා රටාවේ වරදක් පැවතීම නිසත් ප‍්‍රථිපල පමා වෙන්න පුලුවන්. ඒ නිසා සෑම විට ම නිවැරදි උපදේශනය ගැන දැනුවත් වීම වැදගත්. ඒ සදහා ඔබට භාවනාව හා සම්බන්ධ හොද පොත් පත් කියවන්න පුලුවන් කම තියෙනවා. ඒ වගේ ම වෙලාව තියෙනවා නම්, දවස් හතක හෝ දවස් තුනක භාවනා පුහුණු වැඩමුලු වලට සහභාගි වෙන්නත් පුලුවන්. ඔබ නිවැරදි පුහුණුවේ යෙදෙනවා නම් අඛණ්ඩව ම, ඒකාන්තයෙන් ම ඔබට ප‍්‍රථිපල සාක්ෂාත් කරගත හැකියි. අපි උගන්වන්නේ බුදු රජාණන් වහන්සේගේ භාවනා ක‍්‍රමයන්. එය අනාදිමත් කලක සිට ලංකාවේ භාවිතා වූවක්. ඉතින් අද ම මේ මොහොතේ ම භාවනාවේ පළමු පියවර තබන්න ඔබත්.

Image: All rights belong to respective owner(s). Contact admin if you want to remove any of your images.

By | 2017-07-29T18:42:36+00:00 July 29th, 2017|Meditation|0 Comments

About the Author:

Leave A Comment