භාවනාව යනු කුමක් ද?

//භාවනාව යනු කුමක් ද?

භාවනාව යනු කුමක් ද?

භාවනාව යනු කුමක් ද? මේ සදහා බොහෝ උත්තර ඔබට සොයාගැනීමට පුලුවන්. නමුත් ඇත්තෙන් ම භාවනාව යනු කුමක් ද කියන අදහස හැමෝම දන්නවා ද කියන එකනම් ගැටලුවක්. භාවනාව කියද්දී ගොඩක් අයට මතක් වෙන්නේ බිම ඉදගෙන කකුල් නවාගෙන වම් අත උඩ දකුණු අත තබාගෙන කොන්ද කෙළින් කරගෙන ඇස් දෙක වහගෙන ඉන්න රූපයක්නේ. ඒත් මම කියන්න කැමතියි, සැබෑ භාවනාවට එහෙම නිශ්චිත ඉරියව්වක් නැහැ. ඒක ඕනෑම ඉරියව්වක සිදු කළ හැකියි. හිදගෙන හිටගෙන ඇවිදින ගමන් වගේ ම ඇදේ හාන්සි වෙලා උණත් භාවනා කරන්න පුලුවන්.

එහෙනම් මේ හැම ඉරියව්වක් තුළ දී ම භාවනාවක් සිදු වන්නේ කොහොම ද? භාවනාව ගැන තේරුම් ගන්න නම්, අපි භාවනාව සිදු වන ආකාරය ගැන දැනගෙන ඉන්න ඕන.

අපිට හැමෝට ම ශරීරයක් තියෙනවා. ඒ ශරීරයේ ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, කටක්, අතපය සම හැම දේ ම පිහිටලා තියෙනවා. ඒ හැම දෙයක් ම අපි උපන් දවසේ ඉදන් හොදට පවිත‍්‍ර කරල සුවදවත් කරලා අලූත් ඇදුම් ඇදගෙන තමාටත් අනිත් අයටත් ප‍්‍රිය උපදින විදියට ජීවත් වෙනවා. නමුත් හැමෝට ම අමතකයි, අපිට උපතේ ඉදන් ම සිතකුත් ලැබිල තියෙනවා කියලා. ශරීරය වගේ ම තමයි මේ සිතත් කිළිටි වෙලා යනවා. සිත ත් ලෙඩ වෙනවා. සිත කිළිටි වෙන්නේ, ආශාවන්, පසු තැවීම්, ඉරිසියාවන්, තරහව, කම්මැලි කම, අපේක්ෂා භංගත්වය, තමා පහත් කොට සිතීම, ආඩම්බර කම, එකට එක කරන්න සිතීම, අන් අය ට හිංසා පීඩා වේවා කියා සිතමින් සිටීම, මිනිසුන් රුස්සන්නෙ නැතිකම වගේ දේවල් නිසයි. මේ ලෝකේ හැම අපරාධ කාරයෙක් ම බිහිවෙලා තියෙන්නේ, ශරීරය පිරිසිදු නො වී තිබීම නිසා නෙවෙයි. සිත කිළිටි වී යාම නිසයි. ඒක ඔබ පිළිගන්නවා ද? අන්න ඒ නිසා, අපි හැමෝට ම මේ සිත පිරිසිදු කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ සදහා තියෙන උපක‍්‍රමය හෝ ප‍්‍රතිකාරය හෝ පුහුනුව විදියට අපිට භාවනාව හදුන්වන්න පුලුවන්.

භාවනාවෙන් සිද්ධ වෙන්නේ ඉහත දැක්වූ ස්වභාවයන් නිසා කැළඹී ගිය සිත මුලින් ම සංසිදවන එක යි. ඒ සදහා අපිට භාවනා අරමුණක් ඕන වෙනවා. කවුරුත් අහල ඇති ආශ්වාස ප‍්‍රශ්වාස භාවනාව ගැන. එතනදි සිදු වෙන්නේ, කැළඹුනු මනසේ පීඩාකාරී අරමුණු වලට අවධානය යොමු නොකර, හුස්ම රැල්ලට අවධානය යොමු කරන එකයි. භාවනාවේ තියෙන විශේෂත්වය තමයි, අපි අමාරුවෙන් හෝ කාලයක් එක ම භාවනා අරමුණක් පුරුදු කළොත්, කාලෙකට පස්සේ කිසි ම කරදරයක් නැති ව අපිට පැය ගණන් වුණත් භාවනා අරමුණේ ඉන්න පුලුවන්. එතකොට සිතේ තියෙන කැළඹිලි ස්වභාවය සංසිදිලා යන්න පටන් ගන්නවා. එතකොට සිත සැහැල්ලූ වෙනවා. සිත සැහැල්ලූ වෙද්දී කයටත් ඒක හොදට ම බලපානවා. දැන් බලන්න තරහ ගියා ම ඇඟ රත්වෙලා යනවා. හදවත වේගයෙන් ගැහෙනවා. ඒ වගේ ම තමයි භාවනා කරද්දි සිත සැහැල්ලූ වෙලා යද්දී ඇඟ සිසිල් වෙලා සංසිදිලා යනවා. එතකොට පුදුමාකාර විවේකයක් සනීපයක් මුලූ ඇඟට ම දැනෙන්න ගන්නවා. පීඩාකාරී දහවලක දහඩියෙන් සහ වෙහෙසෙන් යුක්ත ශරිරයක් නාගෙන හොදට පිරිසිදු වුණා ම දැනෙන සනීපය ඔබට හොදට මතක ඇති. නමුත්, භාවනාවෙන් සැහැල්ලු වුන සංසිදුන එකඟ වුණ සිතක සැනසීම භාවනා නොකරන කිසි කෙනෙක්ට හිතා ගන්නවත් පුලුවන් කමක් නැහැ. ඒ නිසා එම සැහැල්ලූව සැනසීම කැමති අය භාවනාවට නැඹුරු විය යුතු යි.

ශරීරයක් කොයි ආකාරයෙන් රැකබලාගත්තත් උපතේ සිට මරණය දක්වා ම එක ම ආකාරයට ශක්තිමත් ව පවතින්නේ නෑ. ලෙඩ රෝග නිසා වගේ ම වයසට යාම නිසාත්, දත් වැටී කෙස් පැහී හම රැළි වැටී දුර්වල වී යනවා. නමුත් භාවනාවෙන් ශක්තිමත් කරගත් සිත මරණාසන්න මොහොත දක්වා ම ශක්තිමත් ව තබාගන්න පුලුවන් කමක් තිබෙන බව ඔබ දන්නවා ද? භාවනාවෙන් ශක්තිමත් වුණ සැහැල්ලූ වුන සිතක් සහිත කෙනෙක් එදිනෙදා කටයුතු කිසි ම පීඩාවකින්, ආතතියකින් තොර ව සතුටින් ප‍්‍රීතියෙන් යුතු ව කිරීමට දක්ෂ වෙනවා. ඉතින් භාවනාව යනු මනසට ලබා දෙන ඖෂධයක් වගේ. විටමින් ප‍්‍රතිකාරයක් වගේ. කිසි ම බෙහෙතක උපකාරයකින් තොර ව හුදෙක් භාවනා අරමුණු කිහිපයක් ම කැපවීමෙන් පුහුණු වීමෙන් මේ ආකාරයෙන් ශක්තිමත් හිතක් සකසගන්න ඔබට පුලුවන් කම ලැබෙනවා.

සමහර අය භාවනාවට භය යි. භාවනා කළොත්, පවුල් ජීවිත සමබර නොවේවි ද, වගකීම් අමතක වේවි ද, සමාජයෙන් කොන් වී යා වි ද, කියල බොහෝ දෙනෙක් කල්පනා කරනවා. භාවනාවක් නොකර හිත සංසිදවීමකින් තොර ව, ජීවත් වෙන අයගෙත් දික්කසාද ප‍්‍රතිශතය සියයට 50ට වඩා වැඩියි. පවුල අමතක කොට නයිට් ක්ලබ් වල කාලය නාස්ති කරන, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ජීවිත නසා ගන්නා ප‍්‍රතිශතයත් බලවත් ව ඉහළ ගිහින්. නමුත්, භාවනාවෙන් වෙන මානසික සංසිදීම නිසා, මානසික ව නීරෝගී ශක්තිමත් මිනිසෙක් බිහිවෙනවා. ඒ නිසා භාවනා කිරීමෙන් ගෘහ ජීවිතයේ සතුට වැඩි වී, සමාජයක් දියුණු වී මනුෂ්‍යත්වය රජ වෙනවා හැරෙන්නට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. එබැවින් භාවනාව ඔබේ දින චරියාවටත් එකතු කරගන්න අධිෂ්ඨානයක් ඇති කරගන්න.

සාදු! සාදු!! සාදු!!!

Image: All rights belong to respective owner(s). Contact admin if you want to remove any of your images.

By | 2017-07-29T18:22:00+00:00 July 26th, 2017|Meditation|1 Comment

About the Author:

One Comment

  1. Sujeewa August 1, 2017 at 9:06 am - Reply

    සාදු! සාදු!! සාදු!!!

Leave A Comment